රන් අස්වණු කාබනික ගෙවතු වැඩසටහන

“වස විසෙන් තොර ආරක්ෂිත ආහාර වේලක් රස විඳීමට ඇත්නම් කෙතරම් භාග්‍යයක්ද....?”

ඇයි මම එහෙම කිව්වේ..? ඒ තරමටම අද ආහාර පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය නිසා වස විසෙන් පිරිලා.

දවසින් දවස මිනිසා ලෙඩ රෝග වලින් අසීමිත දුක් විඳින හැටි බලන්න දුකයි. ඇසූ ඇසූ හැම පැත්තෙන්ම කනට වැ‍ටෙන්නේ මාරාන්තික රෝග වලට අපි නොදැනිම ගොදුරු වන බවයි.

කෙහොම නමුත් අප සමාජයේ විශාල පිරිසක් මේ උවදුරට ගොදුරු වෙලා. මෙයට ප්‍රධානම හේතුව ආහාර පරිභෝජන රටාව හා ආහාර වල පවතින අනාරක්ෂිත භාවයයි.

අද අපේ “රුහුණු රසාර අලෙවිසැල - ලබුදූව” හි වස විසෙන් තොර කාබනික එළවළු, පළතුරු, පලා වර්ග, සහල් අලෙවි කරනවා. කොහෙන්ද මේ අලෙවි සැලට මේවා..? දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය හේමකුමාර නානායක්කාර මැතිතුමාගේ සංකල්පයක් අද ඵලදරලා.

ගාල්ල - මැටරඹ සහ ආසන්න ප්‍රදේශයේ ගෙවතු වගා ගොවීන් 100 දෙනෙකු දිරි ගන්වමින් ගෙවතු මට්ටමෙන් කාබනික නිෂ්පාදනයන් කිරීම ආරම්භ කළා 2016 දී. දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වී මව්බිම ස්වයංපෝෂණ පදනම හා එක්ව මෙම රත්තරං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා ඉතාම සාර්ථක ලෙස. “ මව්බිම ස්වයං පෝෂණ පදනම ” හි ගරු සභාපති ලෙස තාරක නානායක්කාර මැතිතුමා කටයුතු කරන අතර ස්ථාන භාර නිලධාරී ලෙස  දීපාල් පෙරේරා මහතා කටයුතු කරනවා. මැටරඹ, රත්කිඳගොඩ, තල්පේ - උතුර, යටගල, මිහිරිපැන්න, හීනටිගල යන ප්‍රදේශවල ගොවීන් ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් වගාවන් වල නිරත වෙනවා. රසායනික හා පළිබෝධ නාශක යෙදීම නවතමින් කොම්පෝස්ට් පොහොර භාවිතය සඳහා නැඹුරු කරවමින් ගොවීන් වගාවන්ට යොමු කරවා තිබෙනවා. පුහුණු වැඩසටහන් මගින් දේශිය කෘෂි තාක්ෂණය  පිළිබඳ දැනුම ගොවීන් වෙත ලබා දෙමින් වගා පුහුණු වැඩසටහන් පවත්වමින් බෝග සායන ක්ෂේත්‍ර පරික්ෂා මගින් ගොවීන් දිරිමත් කරනවා. ඔවුන් අද රන් අස්වනු නෙලනවා. ගොවීන් තමාට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගන්නවා. රසායනික පොහොර පලිබෝධ නාශක භාවිතා කරන්නෙත් නැහැ.

සෑම සතියකම සිකුරාදා දින උදෑසන මේ රන් අස්වනු අලෙවි කිරීම සඳහා රුහුණු රසාර අලෙවි සැල වෙත ලබා ගන්නවා. මැටරඹ ප්‍රදේශයේ ඇති මව්බිම ස්වයංපෝෂණ පදනම හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්වී මෙම අස්වනු වලට වෙළඳපොලක් හදලා තියෙනවා. පළතුරු ලෙස කෙසෙල් වර්ග, පැපොල්, අලිපේර, අන්නාසි, වැල්දොඩම්, අඹ, කටු අනෝදා, පේර, රඹුටන්, උක්ගස් ආදිය ද, කොහිල, රාබු, වම්බටු, බණ්ඩක්කා , අමුමිරිස්, මාලු මිරිස්, මෑ කරල්, පතෝල, වැටකොලු, පොලොස්, කෙසෙල් මුව, කරවිල, පිපිඤ්ඤා, ආදී එළවළු වර්ග රැසක්ද, දෙහි, ලෙමන්, කරපිංචා, කොස් මදුලු, කොච්චි ආදී ද්‍රව්‍යය ජනතාව මැටරඹ කාබනික එළවළු එකතු කරන මධ්‍යස්ථානයට ගෙනැවිත් භාර දෙන්නේ ඉතාම සතුටින් හා ආඩම්බරයෙන්. ඒ වගේම මේ ගොවි ගෙවිලියෝ ගෙදර කෑම වේල ගෙවත්තේ එළවළු පළතුරු වලින් සරි කර ගන්නෙත් හරිම ආසාවෙන්.

සතියකට වරක් කෙසෙල් 110Kg පමණ, පැපොල් 50 Kg පමණ, අන්නාසි 40 Kg පමණ හා අනෙකුත් පළතුරු 110 Kg පමණද, වම්බටු 15 Kg පමණ, මෑ කරල් 10 Kg, වැටකොළු 15 Kg, වට්ටක්කා 40 Kg සහ අනෙකුත් පළතුරු වලද විවිධ ප්‍රමාණවලින් අලෙවිය සඳහා ගොවීන් රැගෙන එනවා. මාසිකව මෙම වෙළෙඳාමෙන් එක් ගොවියෙකු සාමාන්‍යෙයන් රු.6000.00 – 7000.00 අතර ප්‍රමාණයක් මාසිකව උපයා ගන්නවා.

ඒ වගේම මිරිස්, වම්බටු ආදී පැල ද නිෂ්පාදනය කරලා අලෙවිය සඳහා මැටරඹ අස්වනු එකතු කරන මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන එනවා. ඒවා රුහුණු රසාර වෙළඳසැල හරහා අලෙවි වනවා. ඒ මගින් හොඳ ස්ථාවර වෙළඳපොලක් බිහි වෙනවා.

මේ ආකාරයට රන් අස්වනු කාබනික ගෙවතු වගා වැඩසටහන නිෂ්පාදන දිරි ගන්වමින් අලෙවිය සුරක්ෂිත කරමින් ජනතාවට ආරක්ෂිත ආහාර විශ්වාසයෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. මෙය අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක් වන අතර මහගු පිං කමක් ද වන්නේය.

මෙම උදාර සංකල්පය ඵල දැරීමට වෙහෙස මහන්සි වූ කළහේ සහ කොග්ගල යන කෘෂි උපදේශක කොට්ඨාස භාර කෘෂි උපදේශක වරු, කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඇතුළු කැපවීමෙන් කටයුතු කළ දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාම කෘතවේදීව ගෞරවයෙන්  සිහිපත් කිරිමට මේ හොඳම අවස්ථාවයි.

මේ වැනි සමාජමය මෙහෙවරකට හැකි සෑම අයුරකින්ම දායක වීමට අප සැම දෙනාම සිතට ගත යුතු කරුණකි.

Retaining Walls Kirkland